2008-07-20

දවසේ කවිය: 2008-07-20

මේ සුභාෂිතයේ ඇරැඹුම් කවිය යි.

සත වෙත පත මෙත සඟ හස සෙවිපසිඳූ
අවනත සුර මත මිණි තර සරපුබුදූ
දිගු රතඟිලි දළ පෙළ මොක් සුවඳරැඳූ
සිය පත සිය සිය පත සිය පතනමඳූ

උපුටා ගත්තේ රජිත් විදානආරච්චි.

1 comment:

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

අදහස
-----

සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳූ -- සත්වයා(ජීවීන්) වෙත පත් වූ (කෙරෙහි වූ) මෙත(මෛත්‍රීය) ඇති බවට පරසිඳු වූ සඟුන් (සංඝයා) නමැති හංසයින් විසින් සෙවුණා වූ (ඇසුරු කරන ලද්දා වූ)

අවනත සුර මත මිණි තර සර පුබුදූ - අවනත(කීකරු/නැමුණු) සුරන් මත(දෙවියන් මස්තකයෙහි/හිසෙහි) මිණි තර සර (මැණික් රැස් නමැති විලෙහි) පිපුණා වූ

දිගු රතඟිලි දළ පෙළ මොක් සුවඳ රැඳු - මොක් සුවඳ රැඳි ‍දිග රතුවන් ඇඟිලි නමැති දළින්(පෙති වලින්) යුතු


සිය පත සිය සිය පත සිය පත නමඳූ-

සිය පත = පත් සියයක් ඇතියේ = නෙළුම
සිය පත සිය = නෙළුමෙහි නෑයා = හිරු
සිය පත සිය සිය = නෙළුමෙහි නෑයා ගේ නෑයා = හිරු ගේ නෑය = ශාක්‍ය වංශිකයා = බුදු රදුන්
සිය පත සිය සිය පත = බුදු රදුන් ගේ පාද
සිය පත සිය සිය පත සිය පත = බුදු රදුන්ගේ පාද නමැති නෙළුම

සිය පත සිය සිය පත සිය පත නමඳූ = බුදු රදුන්ගේ පාද කමල් නමඳිමි.

මුළු කවියේම අදහස:
සත්වයා වෙත මෙත ඇති බවට පරසිඳු මහ සඟ රුවන සේවනය කරන්නා වූ, සුරන්ගේ හිස මත ඇති මිණි රැස් පොකුණක පිපි , මොක් සුවඳ විහිදෙන ඇඟිලි නමැති පෙති ඇති බුදු රදුන්ගේ පා කමල් වඳිමි෴