2008-09-14

දවසේ කවිය: 2008-09-14

කවිය ශෘංගාරය ම නොව මානව දයාව එනම් අපි අප දකින අයුරු පෙන්වන කැඩපතක් ද වෙනවා. විමලරත්න කුමාරගම කවියාගෙන් ඇරඹි මේ ගමන මහගම සේකර, මොනිකා රුවන්පතිරණ, රත්න ශ්‍රී විජේසිංහ ආදීන් විසින් ඉදිරියට ගෙන ගියා. ඒ පාරේ යන නව කවියකු වන ලක් ශාන්ත අතුකෝරළයන් (ඔහු මෙවරත් හොඳම කවි පොතට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා) ලියූ “අමාවකේ සඳක් සිඹිමි” කවි එකතුවේ එන “කාස කස කාරයා” කවිය මෙවර මා කැමති කව ලෙස දක්වමි.

කාස කස කාරයා

සිරි සිරි ගා
සිලි සිලි බෑගයෙන්
පැන්නා හාල් ඇට
ඈතට ගොස් බලා සිටියා
ටොෆී දෙකක්!

රිය පහර කෑ දුප්පතා
වැටී ගැහෙයි
'වතුර වතුරැ' යි මතුරමින්
ජීවිතය කෙමෙන් බැස යයි;
රතු පාටින් ගලා යයි.

දුලබ දසුනට ලොබව
වට වූ දනෝ
බලත් ඒ කරුණා - වීර රස පිරි නළුව

බෝ තෘප්තියෙනි උන්
තමන් රියෙක නොහැපුම ගැන
ඒත් ළං නම් නොවෙත්.
සිරුර පුරා දරතත් උඩඟුවෙන්
පිටත දී අපුලය දුඟද ඒ රත.

අසරණයාගෙ තොල'ග
දිය පොදක් ගාන්ට
වැස්සක් වහින්ටම ඕන ද?

මදක් නැවතී එබී සුව යහන් පිට
නැවත සැර දමා යති
රිය සක කරකවා
'මිය නොයන මිනිස්සු'

කා..ආ..ස කාරයෙක්
කියති සමහරෙක්

හා! කතා කරපන් හාල් ඇට!
කතා කරපන් පුංචි ටොෆී දෙක!
කියාපන් කාස කාරයෙක්දැයි මේ.

කියනු ඇක නුඹලා නිසැකවම
මේ මිනිසා
ජීවිත පෙරහරේ වෙහෙසෙන
කස කාරයෙකුම යැයි;
හොඳ තාත්තා කෙනෙකු යැයි!

උපුටා ගත්තේ වසන්ත දේශප්‍රිය.

No comments: